ලඟදී අපේ ගෙදර දානයක් තිබුණා ...දානේ ඉවර වෙලා මං
කට්ටියට යෝජනා කලා ඉස්සර අපේ ගමේ තිබුණ පන්සල බලන්න යමුද කියලා .කට්ටියම කිසි
කලබලයක් නැතුව ගමන යන්න පිටත් වුණා. කළුතර
දිස්ත්‍රික්කයේ බදුරලිය ප්‍රදේශයේ
ඈත වත්තක කැලයට මායිම්ව තිබුන මේ
පන්සල ගොඩක් ලස්සනයි කියන්න අපි හැමෝම දැනගෙන හිටියා.ඒත් මං පොඩි කාලේ අවසාන වතාවට
ඒ පන්සලට යද්දී තිබුණේ ආවස ගෙයයි, බණ
මඩුවයි,කුඩා බෝධින්වහන්සේ විතරයි. කොහොම
හරි පැය ගානක දුෂ්කර ගමනකට පස්සේ අපි පන්සලට ගියා . අපේ පන්සල තාමත් ඉස්සර වගේමයි
නේද කියලා මට පන්සලට ගිය මෙහොතේම හිතුණා. අපි කොයිතරම් වෙනස් වෙලා තිබුණත් අපේ
පන්සලේ නම් ලොකු වෙනසක් දකින්න ලැබුනේ නෑ.
ගමේ ඉන්න කෙනෙක් මුලික වෙලා පන්සලේ පෞරාණික බවත් රැකගෙන
ටික ටික පන්සල ගොඩනගනවා. එදා වගේම අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ තාමත් එළිය දකින්නේ
කුප්පි ලාම්පුවෙන්. එහෙම වුනත් ගොඩක් අය මේ පන්සලට භාවනා කරන්න එනවා කියලා අර
ගැමියා අපි එක්ක කිවා. ඇත්තටම හරිම
නිස්කලංක පරිසරයක්, අපි ඒ ගැමිය
එක්ක ගොඩක් දේවල් කථා කළා. අපිත් එක්ක ගියපු නැන්දා කෙනෙක් මේ ගැමියාගෙන් ඇහුවා, මේ
පන්සල හරි ලස්සනයි නේද? මේ පන්සල තව දියුණු කරන්න පුළුවන් නේද කියලා? ගැමියා ගත්
කටම කිවේ මෙහෙම කථාවක් “ඔන්න ඕකයි
නෝනා අපිට වැරදුන තැන....පන්සල් නෙමේ දියුණු කරන්න ඕනේ. අපේ ආකල්පයි දියුණු වෙන්න ඕනේ”මිනිස්සු පන්සල් හදාගෙන හදාගෙන යනවා. ඒත්
මිනිස්සුන්ගේ කිසි දියුණුවක් නැහැ.
මේ කථාව ඇහුව මන් කල්පනා ලෝකේට වැටුනේ මටත් නොදැනීමයි. මට
ගොඩක් දේවල් කල්පනා වුණා. ඒ මනුස්සයාගේ කථාව ඇතුලේ අපිට කොයිතරම් දේවල් හිතන්න
ඉතුරු වුනාද කියලා මට හිතුණා. අද පන්සල් බැලුවාහම භෞතික සම්පත් වලින් පිරිලා. විවිධ
උපකරණ,කොන්ක්‍රීට් පඩිපෙළවල්,ආලෝක කුළුණු, විශාල ගොඩනැගිලි ආදී දේවල් වලින්. ඒ
වගේම විශාල සෙනඟ රැස් කරමින් පවත්වන විවිධාකාරයේ පිංකම් මාලා අද පන්සල් වල බොහෝ
විට දකින්න ලැබෙනවා.නමුත් මෙහෙම පවත්වන විශාල පිංකම් වලින් සැබැවින්ම තමන්ගේ අධ්‍යාත්මික
ගුණවගාව කරගන්නේ කීයෙන් කීදෙනාද? ප්‍රදර්ශනාත්මකව පිංකම් සිදු කරන්න විතරයි
මිනිස්සු අද වන විට උත්සහ කරන්නේ. නමුත් අධ්‍යාත්මික අතින් ඒ අය ගොඩක් පිරිහිලා.
තවත් උදාහරණයක් ලෙස ගත්තොත් තමන් සුද්ද කරපු පහන් වැටේ
පහනකට වෙන කෙනෙක් තෙල් ටිකක් එක් කරොත් මොනවා වෙයිද?යහපත් මානසික තත්වයකින් මේ ප්‍රශ්ණේ විසඳ ගන්නේ කීදෙනාද?මේ තරමට අද
මිනිස්සුන්ගේ ආකල්ප අයහපත් වෙලා .ඉතින් මට හිතුනා මේ ගැමියගේ කථාවේ ඇතුලේ අපිට
කොයිතරම් දේවල් හිතන්න තියනවද කියලා. ඒ වචන ටිකෙ තිබුනේ ලොකු අර්ථයක් නේද කියලා
හිතෙනවා. ඉතින් අපිටත් පුළුවන් නම් භෞතික දේ වර්ධනය කරන අතරේම තව කෙනෙක්ට
සිනහවකින් හරි උදව් කරමින් අධ්‍යාත්මිකව
ගුණ වගා කරමින් අප ආකල්ප දියුණු කළහොත් අප
රටද ගුණදහමින් පිරුණු තැනක් වේ යැයි මට සිතේ.



0 comments:
Post a Comment