Monday, May 8, 2017

වෙනස්ව සිතමු අපි හැදෙමු

ලඟදී අපේ ගෙදර දානයක් තිබුණා ...දානේ ඉවර වෙලා මං කට්ටියට යෝජනා කලා ඉස්සර අපේ ගමේ තිබුණ පන්සල බලන්න යමුද කියලා .කට්ටියම කිසි කලබලයක් නැතුව ගමන යන්න පිටත් වුණා. කළුතර  දිස්ත්‍රික්කයේ බදුරලිය ප්‍රදේශයේ  ඈත වත්තක කැලයට  මායිම්ව තිබුන මේ පන්සල ගොඩක් ලස්සනයි කියන්න අපි හැමෝම දැනගෙන හිටියා.ඒත් මං පොඩි කාලේ අවසාන වතාවට ඒ පන්සලට යද්දී  තිබුණේ ආවස ගෙයයි, බණ මඩුවයි,කුඩා බෝධින්වහන්සේ  විතරයි. කොහොම හරි පැය ගානක දුෂ්කර ගමනකට පස්සේ අපි පන්සලට ගියා . අපේ පන්සල තාමත් ඉස්සර වගේමයි නේද කියලා මට පන්සලට ගිය මෙහොතේම හිතුණා. අපි කොයිතරම් වෙනස් වෙලා තිබුණත් අපේ පන්සලේ නම් ලොකු වෙනසක් දකින්න ලැබුනේ නෑ.
ගමේ ඉන්න කෙනෙක් මුලික වෙලා පන්සලේ පෞරාණික බවත් රැකගෙන ටික ටික පන්සල ගොඩනගනවා. එදා වගේම අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ තාමත් එළිය දකින්නේ කුප්පි ලාම්පුවෙන්. එහෙම වුනත් ගොඩක් අය මේ පන්සලට භාවනා කරන්න එනවා කියලා අර ගැමියා අපි එක්ක කිවා. ඇත්තටම හරිම  නිස්කලංක  පරිසරයක්, අපි ඒ ගැමිය එක්ක ගොඩක් දේවල් කථා කළා. අපිත් එක්ක ගියපු නැන්දා කෙනෙක් මේ ගැමියාගෙන් ඇහුවා, මේ පන්සල හරි ලස්සනයි නේද? මේ පන්සල තව දියුණු කරන්න පුළුවන් නේද කියලා? ගැමියා ගත් කටම කිවේ මෙහෙම කථාවක් “ඔන්න ඕකයි නෝනා අපිට වැරදුන තැන....පන්සල් නෙමේ දියුණු කරන්න ඕනේ. අපේ ආකල්පයි  දියුණු වෙන්න ඕනේ”මිනිස්සු පන්සල් හදාගෙන හදාගෙන යනවා. ඒත් මිනිස්සුන්ගේ කිසි දියුණුවක් නැහැ.
මේ කථාව ඇහුව මන් කල්පනා ලෝකේට වැටුනේ මටත් නොදැනීමයි. මට ගොඩක් දේවල් කල්පනා වුණා. ඒ මනුස්සයාගේ කථාව ඇතුලේ අපිට කොයිතරම් දේවල් හිතන්න ඉතුරු වුනාද කියලා මට හිතුණා. අද පන්සල් බැලුවාහම භෞතික සම්පත් වලින් පිරිලා. විවිධ උපකරණ,කොන්ක්‍රීට් පඩිපෙළවල්,ආලෝක කුළුණු, විශාල ගොඩනැගිලි ආදී දේවල් වලින්. ඒ වගේම විශාල සෙනඟ රැස් කරමින් පවත්වන විවිධාකාරයේ පිංකම් මාලා අද පන්සල් වල බොහෝ විට දකින්න ලැබෙනවා.නමුත් මෙහෙම පවත්වන විශාල පිංකම් වලින් සැබැවින්ම තමන්ගේ අධ්‍යාත්මික ගුණවගාව කරගන්නේ කීයෙන් කීදෙනාද? ප්‍රදර්ශනාත්මකව පිංකම් සිදු කරන්න විතරයි මිනිස්සු අද වන විට උත්සහ කරන්නේ. නමුත් අධ්‍යාත්මික අතින් ඒ අය ගොඩක් පිරිහිලා.

තවත් උදාහරණයක් ලෙස ගත්තොත් තමන් සුද්ද කරපු පහන් වැටේ පහනකට වෙන කෙනෙක් තෙල් ටිකක් එක් කරොත් මොනවා වෙයිද?යහපත් මානසික තත්වයකින්  මේ ප්‍රශ්ණේ විසඳ ගන්නේ කීදෙනාද?මේ තරමට අද මිනිස්සුන්ගේ ආකල්ප අයහපත් වෙලා .ඉතින් මට හිතුනා මේ ගැමියගේ කථාවේ ඇතුලේ අපිට කොයිතරම් දේවල් හිතන්න තියනවද කියලා. ඒ වචන ටිකෙ තිබුනේ ලොකු අර්ථයක් නේද කියලා හිතෙනවා. ඉතින් අපිටත් පුළුවන් නම් භෞතික දේ වර්ධනය කරන අතරේම තව කෙනෙක්ට සිනහවකින්  හරි උදව් කරමින් අධ්‍යාත්මිකව ගුණ වගා කරමින්  අප ආකල්ප දියුණු කළහොත් අප රටද ගුණදහමින් පිරුණු තැනක් වේ යැයි මට සිතේ.

එදිනෙදා අයහපත් පුරුදු වලින් මිදෙමු

යහපත් ආකල්ප ඇතිවීමට ප්‍රධාන  වශයෙන් බලපාන්නේ එදිනෙදා යහපත් පුරුදු වේ. වර්තමාන සමාජය දෙස බලන විට බොහෝ පුද්ගලයන් අනවශ්‍ය දෑ තුළින් මනස පුරවා ගෙන සිටි. මේ නිසා ඔවුනට යහපත් දේ දැකීමට කාලයක් නොමැති අතර යහපත් පවුල් ජිවිතයක්,යහපත් ආර්ථිකයක් හා යහපත් දෙමාපිය දු දරු අඹුසෑමි සම්බන්ධතා ගොඩ නඟා ගැනීමේ හැකියාවක් නොමැත. අද මේ කෙටි ලිපියෙන් ඉහත කාරණාව සඳහා බලපාන කරුණු කිහිපයක් සලකමු.
1.       අනුන් විවේචනය
2.       ඕපදුප සෙවීම
3.       කේලම් කීම
4.       විකාර ටෙලි නාට්‍ය


( බොහෝ අයට අනුන්ගේ ඇදකුද කථා නොකර සිටීමට නොහැකි අතර දෙදෙනෙකු හමු වු විට ද, බිරිඳ සැමියා  සමඟ  හෝ තම කාර්යාල මේසයදී ද අනුන්ගේ අඩුපාඩු කථා කිරීමට පුරුදුව සිටී. කිසිදු පුද්ගලයෙක් සම්පුර්ණ නැති අතර තමාගේ නොයෙක් අඩුපාඩු තියෙද්දී අනුන්ගේ දේ සොයයි. අනුන් විවේචනය කරන කාලය තුලදී ඵලදායි යමක් කිරීමට හැකි නම් එය වඩා යහපත් වේ.අල්ලපු ගෙදර පවුල් ජීවිතය ගැන සැමියාගේ බිරිඳගේ සහෝදර සහෝදරියන් ගැන තමාගේ සේවා ස්ථානයේ සහෝදර නිලධාරීන් ගැන විවේචනය කිරීමෙන් මනස තුළ නිරන්තයෙන් අයහපත් සිතුවිලි ගොඩනැගේ.මෙය වක්‍රකාරව මුහුණෙන් පිළිබිඹු වන අතර ප්‍රසන්නභාවයෙන් ඈත් වේ. කලකට ඉහත අන්තර්ජාලය ඔස්සේ  මා අපුරු වැකියක් දුටුවෙමි.“මෝඩයා අනුන් ගැන කථා කරයි. බුද්ධිමතුන් නව අදහස් ගැන කථා කරයි”මෙලෙස අයහපත් ලෙස පුද්ගලයන් විවේචනය කිරීමෙන් අයහපත සිදු වන්නේ අපටමය.

(   ඕපදුප සෙවීම ඉහත කාරණාව හා බැදේ. ඕපදුප සොයන්නා අනිකුත්  පුද්ගලයන් අතර  අප්‍රසන්තාවයට ලක් වේ.ඔපදුප නිසා යහපත් දේට මනසේ කාලය නොමැති අතර  ඔවුන්ගේ පෞද්ගලික ජිවිතයේද සාර්ථකත්වය අඩපණ වේ.

(   කේලම් කීම ඉතා භයානක තත්ත්වයකි.මේ තුළින් රටක් වුවද විනාස මුඛයට ගිය අවස්ථා අප අතීතයේද අසා තිබේ. බොහෝ විට මෙසේ කේලම් කියන්නා මනා පෞරෂත්වයක් නොමැති පුද්ගලයන්ය. යහළුවන් අතර අසල්වැසියන්  අතර ආයතන ප්‍රධානීන් සේවකයන් අතර  ද කේලම් කීම බොහෝ විට සිදු වේ.යම් අවස්ථා වල ආයතනයක් නොවන ස්ථාන වලදී කේලම් කීමෙන් එහි ප්‍රතිඵල මිනීමැරුම් දක්වා දුර දිග ගිය අවස්ථා අප බොහෝවිට දැක තිබේ.ආයතනයක් තුළදී කේලම් කීමෙන් සුදුස්සාට සුදුසු තැන නොලැබී යන අතර නොසුදුසු ක්‍රියාවන් සිදුවීම නොසුදුසු තීරණ ගැනීම ආයතනය තුල සිදු වේ.අවසානයේ කේලම් කියන්නා හා අසන්නා විනාශ වන අතර ආයනයේ දක්ෂයෝ ආයතනය හැර යයි.

(     ලාංකික සමාජයට මහත් විනාශයක් ගෙන දී ඇති ප්‍රධාන කාරණයක් වන්නේ මෙම විකාර ටෙලිනාට්‍ය නැරඹීමය. මේවායින් මනසට ලැබෙන්නේ වෛරය,තරහාව,වැරදී තීරණ,විකෘති පවුල් රටා ආදිය පිළිබඳවයි. දෛනිකව පැය දෙක බැගින් මෙම ටෙලිනාට්‍ය නරඹන විට එදිනෙදා ජිවිතයේ කල යුතු කාර්යයන් මග හැරෙන අතර සිත් තුළ ඉවසීම නොමැති වීම වෛර සිතුවිලි වර්ධනය වීම මෙන්ම එදිනෙදා ජිවිතයේ කටයුතු මඟ හැරිමද සිදු වේ.මේ තුළින් අප ජිවිතයේ සමීපතයන් ද අපට මඟ හැරමට ඉඩ ඇත. බොහෝ දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු මාතෘකාවක් වුවත් දැනට මෙම ප්‍රමාණය සැහැයෙයි සිතේ.


මට සිතෙන ආකාරයට ඉහත කරුණු 04 අත්හැරියොත් අප බොහෝ මිනිසුන්ට දවසේ කථා කිරීමට දෙයක් නොමැත. එසේ සිදු වන්නේ යහපත් දේ පරිහරණය පුරුද්දක් ලෙස නැතිකමයි. එසේ ඉතිරි වන කාලය රැකියා ජිවිතයේ දියුණුවට දරුවන් දෙමාපියන් සමඟත්, සැමියා බිරිඳ සමඟත් කාලය ගත කිරීමට මෙන්ම එදිනෙදා ජිවිතයේ කටයුතු සාර්ථක කර ගත හැක.

Tuesday, April 18, 2017

ශරීරය මෙරට තුලත් සිත් වෙන රටකත් ඇති පිරිස වැඩිවෙමින් පවතී. මිනිසෙකුට සිදුවන ඕනෑම විපතකදී සංවේදී නොවන හදවත් එමටය. මේ සැමට හේතුව වන්නේ අයහපත් සිතුවිලි පිරි තරඟකාරී හදවත්ය
මිනිසා යනු ස්භාව ධර්මයේ සත්වයෙකි. ස්භාව ධර්මයට සමීප වූ විට ජීවිතය ගැන අවබොධ වේ. ගහකොල, මිනිසා, සතා සිව්පාවා,කළාත්මක වින්දනය  ගැන හා දැනුම තුලින් යහපත් ආකල්ප ගොඩනැගීම අප අරමුනයි.